Sunday, November 24, 2013

බයිබලීය දහම හා සත්ත්ව කරුණාව…..


මිනිසා විසින් සෙසු ජීවින්ට දක්වන ආදරය ‘සත්ත්ව කරුණාව’ ලෙස පොදුවේ හැඳින්වේ. ‘සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා’ යි පතන බුදුදහම ගැඹුරු සත්ත්ව කරුණාවක් ප‍්‍රකට කරන දහමකි. බයිබලීය දහම එවැනි දහමක්ද? මේ ප‍්‍රශ්නය මතු කළහොත් කි‍්‍රස්තියානීන් බහුතරය නිරුත්තර වෙයි.

බයිබලීය දහම සත්ත්ව කරුණාව ඇති දහමක් නොවේ. එය සතුන් බිළි පූජා කිරීම ඇතුලත් දහමකැයි බොහෝ දෙනෙකු පවසනු ඇත. බැලූබැල්මට මෙය සත්‍යයකි. ශුද්ධවු බයිබලයේ බැටළුවන් දවන යාග පූජා ගැන සඳහන් වේ. සතුන් මරා දෙවියන්ට පූජා කිරීම අනුමත කළ දහමක් සත්ත්ව කරුණාව ඇති දහමක් වෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීම සාධාරණය.

එහෙත් බයිබලීය දහම මැවිල්ල වෙත ගැඹුරු ආදරයක් ඵල කරන දහමකි. එය අපට තේරුම් ගත හැක්කේ බයිබලයේ සමස්ථ දැක්ම තුළය. පැරණි ගිවිසුමේ අඩංගු දවන යාග පූජා අප තේරුම් ගත යුත්තේ එඩේර මිනිසුන් තම ඉහළම දේ දෙවියන්ට දීමේ කි‍්‍රයාවක් ලෙසය. මේ දවන පූජා එඩේර යුගය පසු කරනු ලැබු පසුව බයිබලයේ පැමිණෙන යුගයන්හිදී දක්නට නැත. එසේම ඉපැරණි යුගයේදී පවා බයිබලීය දහම සතුන්ගේ හිමිකම් ගැන සංවේදී වෙයි. සතුන්ට පවා විවේකය දිය යුතු බව දක්වයි. භූමියට පවා විවේක දියයුතුයි.

මස් මාංශ අනුභවය ඒ යුගය හා පාරිසරක තත්ත්වයන් මත පැවැතියද මාංශයට දක්වන කෑදරකම බයිබලය හෙලා දකී. මස් මාංශයට කෑදර වුවන් ඇසුරු නොකරන්න. (හිතෝපදේශය) දෙවියන් වහන්සේ සියල්ල අපිට දී තිබෙන නිසා කෑදරකමින් ඒවා භුක්ති විඳිම කිසිසේත් බයිබලිය දහම අනුමත නොකරයි.


දැහැමි මිනිසෙකු සතු විශිෂ්ට ගුණයක් ලෙස ශූ.බයිබලය සතුන් කෙරෙහි දක්වන කරුණාව පෙන්වා දෙයි. දැහැමි අය තිරිසන් සතුන්ගේ ප‍්‍රාණය ගැන සලකති. අදමිටු අය උන්ට කෑදරය. (හිතෝපදේශය 12/10) නව ගිවිසුමේ ජේසු තුමන්ගේ ඉගැන්වීම් තුළ සත්ව පූජාවන් දෙවියන්ට කරන පූජා ලෙස ඉදිරිපත් නොවේ. එතුමන් පෙනී සිටින්නේ දයානුකම්පාව සඳහා ‘‘මා පුද පූජා වලට වඩා දයානුකම්පාවට කැමැත්තෙමි’’ මේ දයානුකම්පාව මිනිසා වෙත පමණක් යොමු වූවක් නොවේ. සියලූ සතුන් හා මැවිල්ල වෙතද යොමු වූවකි.




පෙරිතයන්ගේ යුගයේදී අන්‍ය ජාතිකයින් කිතු දහම වැළඳ ගැනීමේදි, කිතුනුවෙකු වීමේදි නොකල යුතු දෙයක් ලෙස ‘බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් වැළැකීම’’ නියම කරන ලදී. සත්ත්ව කරුණාව දේව පේ‍්‍රමයේම පිළබිඹුවකි. ඒ පිළිබඳව විවාදයක් තිබිය නොහැකිය.

මහින්ද නාමල්

Published by: Ranjan De Mel
www.bhakthiprabodhanaya.org


No comments:

Post a Comment