Sunday, November 24, 2013

සෑබෑ ආදරය අවිනීත නොවෙ………


‘‘ඔයා අද ෂෝට් ලීව් දාලා එනවද? අපි යමු ගල්කිස්සේ මුහුදු වෙරළට’’ ‘‘ලබන සෙනසුරාදා ඔයාට නිවාඩුද? අපි යමුද බෙන්තර හෝටලේකට. දවසක් ඉඳලා එමු. ’’

‘‘අපෝ බෑ. ඔයාට පිස්සුද? අපි තාම බැඳලත් නෑනේ ’’

‘‘අපෝ ඒකට මොකද ළමයෝ. අපි ඉතිං කවද හරි බඳින එකනේ.’’




ආදරයේ නාමයෙන් අනෙකා වෙනුවෙන් අප බොහෝ දේ කරන්නෙමු. අපි කරන බොහෝ දේ අනෙකාට යහපතක්ද නොඑසේනම් අයහපතක්ද යන්න අපි ඇසිය යුතු පැනයකි. ආදරය නිසාම අනෙකා වෙනුවෙන් යම් යම් දේ නොකරන්නට අපි පුරුදු විය යුතුවෙමු. ඉහත දෙබස දෙස බැලීමේදී ‘ආදරයෙන්’ කෙනෙක් අනෙකා වෙත කෙරෙන යෝජනාව සැබැවින්ම අනෙක් පුද්ගලයාට යහපතක්ද? මේ වන විට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන්  Pre Marital Sex හී වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. විවාහ දිවියට ඇතුලූ වී විවාහක යුවල් විසින් පමණක් පැවතිය යුතු ලිංගික සබැඳියාවන් බොහෝ පෙම්වතුන්, පෙම්වතියන් විවාහ දිවියට ඇතුළුවීමට පෙර රසබලා අවසානය. එවැනි ක‍්‍රියාවන් බොහෝ විට සිදුවනුයේ විශාල මුදලක් ගෙවා යන සුපිරි හෝටල් කාමරයක විය හැක. එතරම් මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන සාමාන්‍ය කුලී කාමරයක විය හැක. එසේ නොමැතිනම් මුහුදු වෙරළක, වැටකෙයා පඳුරක විය හැක. මේ අයගෙන් බොහෝමයක් තවමත් හිරිමල් වයසේ පසුවන පාසල් යන යෞවන, යෞවනියන් වීම ඛේදවාචකයකි.




යෞවනය, යෞවනිය, ‘ආදරය’ යැයි අර්ථ දෙමින් ඔබ සැබැවින්ම කරනුයේ ආදරයක් නම් නොවේ. මා විශ්වාස කරන ලෙස පවසමින් වැදගත් පුද්ගලයෙකු කිසිම දිනක තමා විවාහ වීමට සිටින පෙම්වතා හෝ පෙම්වතිය කැටුව විවාහ වීමට පෙර සුපිරි හෝටල් කාමරවල, කුලී නිවෙස් වල, වැටකෙයා පඳුරු සෙවනේ ලැගුම් ගන්නේ නැත. මා විශ්වාස කරන ලෙස එසේ කරන පුද්ගලයෙකු තුළ ඇති ආදරයක වැදගත්කමක් නොමැත. එතැන ඇත්තේ හුදු අවිනීතකමක්, ආලයක්, ආත්මාර්ථකාමිකමක්, සල්ලාලකමක්, ලැජ්ජනැති කමක්, අසංවරකමක්, නොහික්මුණුකමක්, අශිෂ්ටකමක්, වනචරකමක්, ම්ලේච්ඡුකමක්, දාමරිකකමක්, තිරිසන්කමක් පමණි. එතැන ඇති ‘ආදරයක් ’ නොමැත. ඔබගේ එම අශිෂ්ට අසංවර අවිනීත ක‍්‍රියාව ‘ආදරය’ යැයි නම් නොකරන ලෙස මා ඔබට ආයාචනය කරමි. තමන්ට රිසි ලෙස යෝජනා ගෙන එමින් අනෙකාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදුවන එවන් හැසිරීම් අවිනීත කමකි.


සැබෑ ලෙස ආදරය කරන්නෙකු තම පෙම්වතා හෝ පෙම්වතිය සමග මතුයම් දිනෙක නීති්‍යානුකූලව සක‍්‍රමේන්තුගත විවාහ දිවියක් තුළ ආදරයේ සැබෑකම අත්දකින්නට ඉවසීමෙන් යුතුව පෙරුම් පුරනු විනා ඉන් පෙර අවිනීත නොවනු ඇත. අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගනිමින් තම ක්ලේෂයන්, රාගික කාමුක ආශාවන් සතප්වා ගන්නට යත්න දැරීම ’සැබෑ ආදරය ’ නම් නොවේ. තම ජීවිතය, ශරීරය ආශාවන් අවිනීතකමේ ආභරණ කර නොගනිමින් සැබෑවූ ආදරයෙන් ජීවත්වන්නට උත්සාහ කරමු.

ගරු එම්. රොෂාන් සිල්වා නි.ම.නි. පියතුමා,
බණ්ඩාරවෙල.

Published by: Ranjan De Mel.
www.bhakthiprabodhanaya.org


No comments:

Post a Comment